ආව ගිය අය...

Sunday, May 7, 2017

හිට්ලර් ,ජාතිවාදය සහ පව...

"එය ඕනෑම මිනිත්තුවක්දී නැවත වරක් සිදුවීමේ හැකියාවක් පවතී"
                                                                    (කාල් යේපර්ස්)

මෑතකදී නරඹපු විශිෂ්ඨ සිනමා කෘතියක් , එනයින් ගොඩනැගුනා වූ ගැටලුවක් , නොසිතූ ලෙසක හමුවූ ඒ කී ගැටලුවට හරියාකාරම පිලිතුර ලබාදෙන විශිෂ්ඨ කෘතියක් නිමිති කොටගෙන මෙලෙසින් සටහන් කරන්නට සිතුවෙමි. චිත්‍රපටය schindler's List http://www.imdb.com/title/tt0108052/ නම් වන අතර එහි කතා පුවත වන්නේ නට්සී ජර්මානුවන් විසින් පෝලන්තය ආක්‍රමනය සහ ඉන් පසුව සිදුවන්නා වූ මෙතෙකැයි කියා ගනනය කල නොහැකි අතිශය ශෝකාන්ත සිදුවීම් පෙලක් මධ්‍යයෙහි මතුවන්නා වූ මානුශීය පැතිකඩ වුවද හදවත පසාරු කරගෙන යන තරමේ බලපෑමක් කරනුයේ එකී ප්‍රකාශනය නොව එවන් ප්‍රකාශනයකට මග පෑදුවා වූ පෝලන්ත යුදෙව් ජනතාවගේ නොහිලිය හැකි තරමේ විදවීම් සමූහය වේ.  https://en.wikipedia.org/wiki/Auschwitz_concentration_camp ඒ සියල්ල හදවත පසාරු කරගෙන යන මොහොතේ හදවත නගන ප්‍රශ්නයනම් "හිට්ලර් මේ තරමට ම යුදෙව්වන් සමග වෛර බදින්නට හේතුවූයේ කුමක්ද යන්නයි"සිත තුල ප්‍රබල කැලඹීමක් ඇති කරන්නට සමත් මේ ප්‍රශ්නයට පිලිතුර සොයමින් සිටිනා වේලාවක හමු වූ විශිෂ්ඨ කෘතියක් ඕනෑවටත් වඩා වැඩියෙන් මේ කරදරකාරි,හදවත කැලඹූ ප්‍රශ්නයට පිලිතුර සපයන්නට විය.එම කෘතිය නම් The Nazis: A Warning from History හි සිංහල පරිවර්තනයයි. https://en.wikipedia.org/wiki/The_Nazis:_A_Warning_from_History  BBC ආයතනයේ පරික්ශනාත්මක වාර්තා චිත්‍රපටයක මුද්‍රිත පිටපත ලෙස ලියැවෙන මෙය අදටත් ලොව කම්පා කල සාමාන්‍යය භාවිතයේදී කියැවෙන පරිදි හිට්ලර්ගේ යුදෙව් සංහාරයේ පසුබිම් කතාව කියාදේ. මේ හරහා චිත්‍රපටය නැරඹුවාට පසුව පැනනැගුන ප්‍රශ්නයට පිලිතුර සොයන්නට ගොසින් ඊටත් වඩා වැඩියෙන් හදවත පසාරු කරනා අත්දැකීම් සමූයකට මනසට මුහුන දෙන්නට සිදුවිය.

කෙසේ වුවද මේ සියලු ශෝකාන්තයන් මැදින් සියලු පසුබිම් කතාවන් මැදින් කෘතිය අවසානය තෙක් ආ විට හිට්ලර් නම් පුද්ගලයා පිලිබද තිබූ "හිට්ලර් පොරක්ය" යන සිතිවිල්ල (යම්කිසි කෙනෙකුට එකී ආකල්පය වැරද්දක් විදියට පෙනෙන්න්ට පුළුවනි) බිදීගියේ පුදුම සැහැල්ලුවකිනි. මානව ඉතිහාසයේ මෙතෙක් බිහිවූ කුරිරුම පුද්ගලයන් අතර වඩාත් ම කතාබහට පත් වූ චරිතය වන්නේ හිට්ලර්ය,දෙවන ලෝක යුද්ධයේ ජර්මානු නට්සීන්ගේ අසහාය නායකයාය යන පුද්ගල ස්වරූපයෙන් ලෝකයා ඉදිරියේ පෙනෙන්නට තිබෙන හිට්ලර් චරිතය තවදුරටත් එසේ නොවන බව එකහෙලාම නොවුනත් "නට්සීන්ගේ කතාව"තුලින් පුපුරවා හරී.මන්ද යත් හිට්ලර් නම් අසහාය නායක ප්‍රතිරූපයට යටින් සිටි,සෙවනේ සිටි සමහර නට්සි නායකයන් හිට්ලර්ටත් වඩා කුරිරු වූත්,සාහසික වූ බව අත්විදින්නට මේ කෘතිය හරහා හැකිවනු ඇත.(ඒ කෙසේද යත් එකින් එක කියන්නට නම් මට මුලු කෘතියම උපටා දකවන්නට සිදුවනු ඇත ,ඒ නිසා මාගේ නිර්දේශය නම් කෘතිය සොයාගෙන කියවන්නැයි කියාය)

ලෝකයේ මෙතෙක් බිහිවූ කුරිරුම පුද්ගලයන්ගෙන් එක් අයෙකු වු හිට්ලර් පොරක් යැයි මගේ හිත විශ්වාස ගෙන සිටියේ ,දෙවන ලෝක යුද්ධය  හා යුදෙව් සංහාරයේ සෘජු ආඥදායකයා හිට්ලර් යැයි අසාතිබූ නිසාය(තනි මිනිසෙක් මෙතරම් දෙයක් කලේය යන මතය ඒ සදහා බලපෑවේය) නමුදු ඒ සියල්ල බිදහෙලූ ,පුපුරවා දැමූ කෘතිය හරහා අවබෝධ කොටගත් ,උගෙනගත් දෙයක් වේනම් ඒ ලිපිය ආරම්භයේ සදහන්කොට ඇති කාල් යේපර්ස්ගේ 
"එය ඕනෑම මිනිත්තුවක්දී නැවත වරක් සිදුවීමේ හැකියාවක් පවතී" නම් වූ සර්වකාලීන සදාරනත්වයක් උසුලන ප්‍රකාශනයේ සත්‍යය තාවය වේ .එය අදාල වනුයේ තවත් හිට්ලර් කෙනෙක් ,තවත් නට්සින් බිහිවීමක්  සදහා පමනක් නොව තවත් අඩු වැඩි වශයෙන් තවත් හිට්ලර් ආකෘතීන් බිහිවීමේ හැකියාව සදහාය. ජාතිවාදය බිහිවන්නේ එහි මුල් පුරුක ලෙසය යන්න අවබෝධ කොටගන්නට නට්සීන් ගේ කතාව හොදම උදාහරනය වේ .සෘජුව ම නොවුනත් ඒ සදහා එක් වන පුංචිම පුංචි වචනයක දායකත්වය වුව සෑහෙන බව නට්සීන්ගේ කතාව අපට කියාදේ.තමන්ගේ ජාතියට ආදරය කිරීම සහ ජාතිවාදය අතර වෙනස පවතින්නේ කොතනදැයි නිර්නය කිරීම හරි පරිස්සමට කල යුතු වන්නේ ඒ නිසාය.ජාතිවාදය උඩු දිවූ පසු එහි ප්‍රහාරක අවි බවට පත්වන්නේ පොදු සාමාජීය කාරනාවන්ය .අධ්‍යාපනය ,සෞඛ්‍යය , රැකියා ආදි පොදු සාමාජීය කාරනාවන් මෙන්ම ,ඒ සියල්ලෙහි ලොකු අයියා යැයි විශ්වාස කරවා ඇති ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය ජාතිවාදයේ බරම ප්‍රහාරක අවිය බවට පත්වන්නේය . ඒ නිසාවෙන් දේශපාලනයත් ජාතිවාදයත් එකට එක්කාසු කිරීම පවක් බවට මා විශ්වාස කරමි. (ඒ සදහා දෙවන ලෝක යුද්ධය විසින් ලොවට අහිමි කල ජීවිත ගනන මතක් කරගන්න). ඉතින් ඒ නිසාවෙන් ජාතිවාදි පිපාසයට පැන් ඉසින්නට පෙර පව් කාරයෙක් වන්නට ඔබේ හිත එකගදැයි සිතාබැලීම වටී.

හිට්ලර් බිහිවූයේ ජාතිවාදි පදනමක් මතය .යුදෙව්වන් සමූල ඝාතනය වූයේ එහි අතිශය ශෝකාන්ත ප්‍රතිපලය ලෙසිනි .හිට්ලර් බලයට ගෙන ආ ජාතිවාදි බීජය වැපිරූ සහ ඊට පැන් ඉසි සෑම සියලු  දෙනාම ඒ වෙනුවෙන් සම වගකීමක් බාරගත යුතුවන්නේ ඒ නිසාවෙනි.හිට්ලර් සහ දෙවන ලෝක යුද්ධය ලෝක දේශපාලනික කාරනයක් වුවත් ඒ හරහා තනි තනි රාජ්‍යයන්  කෙරෙහි උගන්වන පාඩම ලාංකික දේශපාලනය කෙරෙහිද බලපාන ආකාරය තව වසර කිහිපයකින් අත්විදින්නට  ලැබෙන සලකුනු පෙනෙන්ට තිබෙන්නේ අවාසනාවකටය . එකී අවාසනාවට කරගහන්නේද,නැතිනම් එයින් මිදෙන්නේද යන්න තීරනය ඔබ අතේය .
ජයවේවා.
සුමියා.

No comments:

Post a Comment

සුමියා. කවියක් ... නිකන්ම පද පෙලක් නොවන්නට. අතේ තියෙන ඇගිලි දහයම නව නව දෙතුන් පාරක් ගනන් කරලත් තව බරගානක් ගනන් කරන්න ඉතිරිවෙන තරම් බර...