ආව ගිය අය...

Tuesday, May 16, 2017

මේ දවස් වල කුනු හරි ප්‍රසිද්ධයි නේ....

  "කුනු"

          පහුගිය දවස් ටිකේ අනේ ඉතින්  මේ තරම් කතාබහ උන මාතෘකාවක් තවත් මේ සිරි ලංකාවේ නොතිබුන තරම්,මාධ්‍යය ආයතන වලින් පටන් ගත්තම,සමාජ ජාල වෙබ් අඩවි පුරවගෙන ආපු ඔය කුනු කතා ටික කඩේ පිලේ විතරක් නෙවෙයි  කන්තෝරුවේ පවා හරි ජයට කතා උන මතෘකාව බවට පත් උනා.ඔය කතා ඔක්කෝම එලියට එන්න ගත්තේ පහුගිය දිනයක සිදුවූ අතිශය අවසානාවන්ත,මිනිසා විසින් ම ඇති කරගත්තා වූ විනාශයක ප්‍රතිඵලයක් බවට පත් වූ කාරනාවක් නිසාය.එනම් කොළඹ නගරයට තදාසන්න කොලොන්නාව මීතොටමුල්ල කුනු කන්ද නාය යෑම පසුබිම් කොටගෙනය.එතැන් පටන් කුනු ගැන සිදුවුනා වූ කතාවන් අපමනය,ඒ අස්සේ කුනු ගැනම ,කුනු දේශපාලනයේ එලියට ඇදී ආ කුනු කාරනාවන්ද බොහෝය.එහෙයින් කාලෙකට පස්සේ හමුවුන හොද රස කතාවක් වගේ කුනු කන්දේ කතාව,කුනු කන්ද නිසා උපන් ශෝකය පහුගිය දින කිහිපයේ හැමෝම අතර හොදම ටේස්ට් එකෙන් සද්දෙට හැපුනේය.අද දවස වෙනකොට ඒ හැම කුනු කතාවක්ම,කොයි තරම් හොදට බුබුලු දමා නටමින් පැහෙන තෙල් තාච්චියක් වුව ටිකකින් සන්සුන් වන්නා සේම නිහඩ වී අවසන්ය.දැන් ඉතින් මේ සූදානම ඒ කුනු කතා වල නිහඩතාවය අස්සේ තවත් කුනු කතාවක් ගැන පොඩියට සටහන් කරගෙන යන්නය  කියලා.(බොහෝ දෙනෙක්ට අනුවනම් මේකත් ඉතින් කුනු වැඩක් බවට පත්වේවි .)

මේ දවස්වල ඉතින් සමාජ ජාල වෙබ් අඩවි පැත්තේ දකින්න තියෙන කාරනාවන් එක්ක තමා මේ කුනු කතාව එලියට එන්නේ. ශ්‍රී පාදය පවිත්‍ර කිරීමේ වැඩසටහන් ආදී නම් වලින් සංවිධානය වන විවිද වූ වැඩසටහන් රාශියක් දක්නට ලැබීම මේ කුනු පිලිබද සටහන ලියන්නට මග පාදන්නට විය.කාරනය මෙවන් වැඩසටහන් සංවිධානය වීම පිලිබදව නොවන්නේය,(මෙවන් දෑහි නිරතවන,සංවිධානය කරන සියල්ල හට නොඅඩුව සමන්  දෙව් පිහිට නම් ලැබෙන්නේය.)මෙවන් වැඩසටහන් සංවිධානය වීමට අවැසි පසුබිම  නිර්මානය වීමේ හේතු කාරනාවන්ය. දැන් ඔබට වැටහෙනවා ඇති මේ කතාකරන්නට යන කුනු කාරනය කුමක්ද කියා,ඒ වෙනෙකක් නොව "ශ්‍රී පාදස්ථානයේ"කුනු සම්බන්ධව වේ.ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බහුතරය බෞද්ධයන් වන නිසාම මේ කුනු කාරනයේ වැඩි බරට කරගහන්නට  බෞද්ධයන්ට සිදු වුවද,මේ කුනු කතාවට ශ්‍රී පාද වන්දනා කරුවන් සියල්ලෝම වගකිව යුතු වේ.
කාර්යාලය තුල කතාවකදී අසන්නට ලැබුනු සැටියට මෙවර ශ්‍රී පාද සමයේ පමනක් ප්ලාස්ටික් බොතල් මිලියනකට අධික ප්‍රමානයක් සමනල කන්ද අඩවියේ පමනක් තිබී හමු වී ඇත.මුලු රටටම දිය සපයන ප්‍රධාන ගංගාවන් හි උපත ශ්‍රී පාද අඩවිය යන්න නොදන්නා මිනිසුන්ට නම් මෙහි බරක් පතලක් නොතේරෙනු ඇත.මාස හයක ශ්‍රී පාද සමයෙන් පසුව සංවිධානය වී වෙනම ඉවත් කල යුතු තරමට ශ්‍රී පාදස්ථානයේ කුනු එකතු වීම පිලිබදව සියලුම ශ්‍රී පාද වන්දනා කරුවන් අතිශය ලැජ්ජාවට පත්විය යුතුය.ප්ලාස්ටික් බෝතල,පොලිතින් උර ආදියේ පටන් සෑම වර්ගයකම අපද්‍රව්‍යය මේ වන විට ශ්‍රී පාදය ගිලගෙන අවසන්ය.කොටින්ම කියතොත් ශ්‍රී පද රක්ශිතයේ තිබෙන ගස් වැල් වලට වඩා ප්‍රමානයකට අපද්‍රව්‍යය ජාතින් ශ්‍රී පාද රක්ශිතයේ ඇත.ශ්‍රී පාද ගමන් කරනවිට දෙපස බලනා විට පෙනෙන්නට තිබෙන සෑම ගසක් මුලම අඩුම ගානේ ටොපි කොලයක්වත් ඇත.ඒ තරමට අපද්‍රව්‍යය පරිසයට එක් වී අවසානය ...  සමාවන්න එක් වී නොව අප විසින් එක් කර අවසන්ය.(https://www.google.com/search?q=garbage+in+adams+peak&newwindow=1&client=opera&hs=aix&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjN64qvpfTTAhVJ0xoKHRIvCVcQ_AUICigB#imgrc=K5cTlW8vMzFlHM:  ගිහින් බලන්න තියෙන අපද්‍රව්‍ය වල තරම...)
හදපිරි බැතියෙන් සිරි පතුල වන්දනා කරන්නට යෑම වරදක් නොව,නමුදු වන්දනා කරනා සිරිපතුල දායාද කල බුදුන් වහන්සේ දේශනා කල දර්ශනයේ පරිසරයට දුන් තැන වටහා නොගෙන කකුල් කඩිත්තුව සෑදෙනකන් පයින් ඇවිද,සිරිපතුලට වැද ආවාට නම් සතපහක වැඩක් නැත. ඊට වඩා හොදය ගූගල් එකෙන් ශ්‍රී පාදය සොයාගෙන ගෙදර ඉදන් වන්දනා කරන එක.තමන්ගේ ගෙදර මුලුතැන් ගෙයි අපද්‍රව්‍යය ටික එක දවසක් ඉවත් කරගත නොහැකිව ඊට පසුදින නහය වසාගෙන අපද්‍රව්‍යය ඉවත් කරන්නවුන්ගේ අම්මා මුත්තා මතක් කරන්නේ අපේ ඈයෝන්මය.එහෙව් ඈයෝම ශ්‍රී පාද රක්ශිතයට එක් කොට ඇති අපද්‍රව්‍යය ප්‍රමානය දුටු විට,අපටද සිදුවන්නේ පව් පිරුනා වුවද ඒ ඈයොන්ගේ අම්මා මුත්තා මතක් කරන්නටය. ශ්‍රී පාදය කරුනා කරන්නේ බෞදයන්ද , අන්‍ය ආගමිකයන්ද යන්න නොව සිතිය යුත්තේ මනුශ්‍යයන්ද ? තිරිසනුන්ද? යන්නය,මන්ද යත් ශ්‍රී පාද රක්ශිතයේ දකින්නට ලැබෙන අපද්‍රව්‍යය දුටු විට ඒ පිලිබද සිතන්නට වන නිසාය,පිරිමි යට ඇදුම් ද ,ගැහුනු යට ඇදුම් ද වන අතර ,ඒ මදිවාට කියන්නට ලැජ්ජය කාන්තාවන් සනීපාරක්ශාව සදහා භාවිතා කරන දෑ ද ඒ අතර වේ.ඒ විතරක් නම් කම් නැත සීතල දිය දහර ගෙන ගතට සිසිල දෙමින ගලා යන සීත ගගුල වෙත පියමනින විට ගං ඉවුර  පුරා ඇති දුම් වැටි වල අවශේෂ කොටස් දකින විට ,සිසිල් දිය දහරේ පහස විදීම කෙසේ වෙතත් ඇති තරම් අප්පිරියාවක් ගත වෙලාගන්නේය.
කොතෙක් කතා කලද දැන් අපද්‍රව්‍යය ශ්‍රී පාද රක්ශිතයට එක්කොට අවසන්ය.එහෙයින් මෙවරද ශ්‍රී පාදය පවිත්‍ර කිරීමේ වැඩසටහන් හි සහය පතන්නට සුමන් සමන් දෙවියන්ට සිද්ධ වනු ඇත.කෙතරම් පවිත්‍ර කිරීමේ වැඩසටහන් දියත් වුවද සියලු අපද්‍රව්‍යය ඉවත් නොවේ ,20% ක් පමන අපද්‍රව්‍යය ප්‍රමානයක් වැස්සෙන් ,සුලගෙන් රක්ශිතයේ ගැඹුරටම විහිද යන්නේය.අවුරුදු ගනනාවක් තිස්සේ මේ විනාශය රිසි සේ සිදුවූ නිසා මේ වන රක්ශිතයට සිදුව ඇති හානිය කෙතරම්දැයි සිතාගත හැකිද?ලෝක සිතියමේ Adam's peak යන්න ඉවත් කර ශ්‍රී පාදය යන්න සලකුනු කරන්නට වෙර දැරුවද,මේ විනාශකාරි ක්‍රියාවලිය නොනැවැත්තුවේ නම් අනාගත ලෝක සිතියමේ ශ්‍රී පාදය ලෙස සලකුනු වනු ඇත්තේ පසුගිය දිනෙක කඩා වැටුනා වූ මීතොටමුල්ල කුනු කන්දේ ස්වරූපයම ගත් ස්ථානයකි.එසේ වුවහොත් ඒ තරම් ලැජ්ජාවක් නම් කිසිදිනෙක බෞද්දයකු වශයෙන් අත්විදින්නට නොලැබෙනු ඇත.ඒ ලැජාවේ තරමට අනිවාර්යෙන් සුමන සමන් දෙවියන් සමනල අඩවියෙන් පමනක් නොව,ලංකාද්වීපයෙන්ම චුත වනු ඇත.එසේ වනු තුරු බලාසිටීම හෝ කලයුතු හරිදේ කිරීම ඔබ සතුය.

මගේ ප්‍රාර්තනයනම් මෙවන් විනාශයන් කරන්නවුන්ට ශ්‍රී පාදය කරුනා කරන්නට අවස්තාවක් නොලැබේවා යන්නයි(එතකොට එක් අතෙකින් ඔහේ ආතල් එකට වන්දනා කරන වුන් අඩු වී නිදහසේ ශ්‍රී පාදය වන්දනා කිරීමේ අවස්තාව වත් උදාවනු ඇත.)

ජයවේවා.

සුමියා

No comments:

Post a Comment

සුමියා. කවියක් ... නිකන්ම පද පෙලක් නොවන්නට. අතේ තියෙන ඇගිලි දහයම නව නව දෙතුන් පාරක් ගනන් කරලත් තව බරගානක් ගනන් කරන්න ඉතිරිවෙන තරම් බර...